(RIVIRA.LK/Breaking, 2021 January 05, 02.32 P.M.)
කොවිඩ් – 19 වෛරසය සඳහා සුරක්ෂිත හා ඵලදායි එන්නතක් නිෂ්පාදනය කළ පසු එකී එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරීම සඳහා රජයන් සහ අදාළ නිෂ්පාදකයින් ඒකාබද්ධ කරනු ලබන ගෝලීය ප්‍රවේශය කොවැක්ස් පහසුකම ලෙස හැඳින්වේ. ඒ යටතේ කොවිඩ් – 19 වෛරසය සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීම සහ වැඩිදියුණු කිරීම කඩිනම් කරන අතර, ලෝකයේ සෑම රටකටම එකී එන්නත ලබා ගැනීම සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයක් පවතින බව සහතික කරයි.
මෙම කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ලංකාව මේ වන විටත් ඇතුළත්ව සිටින අතර ඒ මගින් කොවිඞ් -19 එන්නත් මාත්‍රා ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළත් එන්නත් හා ප්‍රතිශක්තීකරණය සඳහා ගෝලීය සන්ධානය විසින් ද තහවුරු කර ඇත. එබැවින් ඒ වෙනුවෙන් ගිවිසුම්ගතවීමට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අදාළ එන්නත් පහසුකම් ලබාගැනීම සඳහා අදියර දෙකක් යටතේ එන්නත් ඉල්ලුම් අයදුම්පත්‍ර ඉදිරිපත් කරන්නැයි රටවල් වෙත දැනුම් දී ඇති අතර එන්නත් ලබාදීමේ ඉලක්කගත කණ්ඩායම සහ එන්නත් ගබඩා කිරීමේ ධාරිතාව පිළිබඳ තාක්‍ෂණික තොරතුරු ඇතුළත් එන්නත් අයදුම්පතේ පළමු කොටස ඉකුත් දෙසැම්බර් 7 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ බවත් එය නිසි වේලාවට ඉදිරිපත් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
මෙහි දෙවැනි අදියර වන එන්නත් ලබාගැනීම සහ ඊට අදාළ වන්දිපූරණ ගිවිසුමට එළඹීම සඳහා ලබන 8 වැනිදාට පෙර අයදුම් කළ යුතු අතර නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව දෙවැනි ඉදිරිපත් කිරීමට අමාත්‍යවරිය යෝජනා කර තිබෙනවා.
ඒ අනුව, කොවැක්ස් පහසුකම මගින් එන්නත් වෙන්කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
