(RIVIRA.LK/Breaking, 2021 January 06, 06.27 P.M.)
පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය දෙසැම්බර් 31 වන දින පලා ගිය කොවිඩ් – 19 වෛරසය ආසාදිත රැඳවියන් පස්දෙනාගෙන් එක් අයෙක් ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ අජිත් රෝහණ සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයික්කාල අංගම්පිටියේ පදිංචි 52 හැවිරිදි නිමල් වසන්ත නොහොත් ගැටයා නම් කොවිඩ් ආසාදිත රැඳවියෙක් ය. එසේම, ආසාදිත රැඳවියාට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් තවත් පුද්ගලයෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙර පලා ගිය රැඳවියන් අතරින් 27 හැවිරිදි මද්දුමරාලලාගේ කවිඳු මධුෂාන් යන අය මාදම්පේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මේ අනුව, පලා ගිය රැඳවියන් පස් දෙනා අතරින් දෙදෙනෙකු සොයා ගෙන ඇති අතර අනෙක් ආසාදිත රැඳවියන් තිදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මොවුන් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් ළගම පොලිස් ස්ථානයට හෝ 0718591233 අංකයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
සම්බන්ධිත පුවත්
- ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳවියන් සිව් දෙනෙකු තවමත් නිදැල්ලේ
- ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳවියන් තිදෙනෙකුගේ ඡායාරූප මෙන්න
