,
Daily

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 92ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙයි

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වන විට සැකකරුවන් 197ක් අත්අඩංගුවට ගෙන ඇති බව අප්‍රේල් 15 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් 40 දෙනෙකු මේ වන විටත් රැඳවුම් නියෝග යටතේ රඳවාගනිමින් විමර්ශන සිදු කරන බවයි. එමෙන්ම අත්අඩංගුවට ගත් 33 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

අත්අඩංගුවට ගත් 197 දෙනාගෙන් 119 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර 78ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය මගින්.

මේ වන විට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 52ක් ද රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවද මෙහිදී අනාවරණය කෙරිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 40 දෙනෙකුද, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් 52ක්ද ලෙස 92 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරයි.

එසේම හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අසා සිටියේ අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඊට ඇත්දැයි යන්න පිළිබඳවයි. ඊට ප්‍රතිචාර දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඔහුගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු වූ අතර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරමින් පවතින බවයි. යම් අයෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඔහුගේ සමාජ තත්වය හෝ තනතුරු අදාළ නොවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එමෙන්ම අත්අඩංගුවට පත් ඇමති සොහොයුරු බදුර්දීන් රියාඩ් නැමැත්තා බෝම්බකරුවන් සමග ඍජු සබඳතා පවත්වා ඇති බවත්, ප්‍රහාරය එල්ල කිරීමට ආසන්න කාල වකවානුකදී හෝටලයක එක් බෝම්බකරුවෙකු හමු වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

අප්‍රේල් 14 අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර නීතිඥවරයෙකුද සිටින බවත් ඔහු ද බෝම්බකරුවන් සමග සමිති සමාගම් පිහිටුවා තනතුරු දරමින් එක්ව කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

අදාළ නීතිඥවරයා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමකදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයෙකු බවයි වාර්තා වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top