,
Daily

මගීන් 100ක් පමණ රැගත් පාකිස්ථාන ගුවන් යානයක් ජනාකිර්ණ ප්‍රදේශයකට කඩා වැටේ (Video)

(RIVIRA Online, 2020 මැයි 22 පස්වරු 04.34ට | අවසන් වරට යාවත්කාලීන කිරීම පස්වරු 06.33ට)

පාකිස්තානයේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති ගුවන් යානය, පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (පීඅයිඒ) PK 8303 දරණ ගුවන් යානය බව මැයි 22 සිකුරාදා පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කළා.

එම ගුවන් යානය ලාහෝර් සිට කරච්චි බලා පියාසර කළ ගුවන් යානයක් වන අතර ගොඩබෑමට සූදානම් වූ අවස්ථාවේ දී ගුවන් තොටුපල අසලම පිහිටි ජින්නා ක්‍රීඩාංගණය ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයක දී අනතුරට ලක්ව තිබුණා.

ගුවන් යානයේ මගීන් 91ක් හා කාර්ය මණ්ඩලයයේ 7 දෙනෙකු සිටි බව පාකිස්ථාන මාධ්‍ය මේ වන විට කියා සිටිනවා. ආසන්න වශයෙන් 90ත් 110ත් අතර පිරිසක් යානයේ ගමන් කර ඇති බව පාකිස්ථාන බලධාරීන් සඳහන් කරනවා. පාකිස්ථානය රජය නිල වශයෙන් එහි ගමන් කළ පිරිස මෙතෙක් සඳහන් කර නැත. සිදුවීමෙන් වූ ජීවිත හෝ දේපළ හානිය සම්බන්ධයෙන් ද මෙතෙක් නිල නිවේදන නිකුත් වී නැත. එහෙත් යානයේ ගමන් කළ කිසිවෙක් දිවි බේරාගත් බව මෙතෙක් වාර්තා වී නැති බව ඔවුන් කියා සිටියා.

ගුවන් යානයේ ගොඩබෑමේ ලිවරයේ ඇති වූ ගැටළුවක් මීට හේතු වී ඇති බව දැනට සැකකෙරෙන අතර කඩා වැටුණු ස්ථානය කළු දුමාරයකින් වැසී ගොස් තිබුණා.

දැඩි ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි එම ස්ථානයේ ඇති නිවාසවලට ද දැඩි හානි සිදුවී ඇති බවත් එම ස්ථානයට හදිසි සේවා ළඟා වී ඇති බවත් ඔවුන් මුදාගැනීමේ කටයුුතුවල නිරත බවත් වැඩිදුර වාර්තා කියා සිටී.

පාකිස්ථානයේ වාණිජ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පියවරගෙන දින කිහිපයකට පසු මෙම අනතුර සිදු වී තිබෙනවා.

පාකිස්තානයේ ගුවන් අනතුරු ඉතිහාසය කෙටියෙන්

2010 දී පුද්ගලික ගුවන් සමාගමක් වන එයාර් බ්ලූ ආයතනයට අයත් ගුවන් යානයක් ඉස්ලාමාබාද් හී දී කඩා වැටීමෙන් එහි සිටි 152 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එය පාකිස්තාන ඉතිහාසයේ මාරාන්තිකම ගුවන් ව්‍යසනයයි.

2012 දී පාකිස්තානයේ භෝජා එයාර් ආයතනයට අයත් බෝයිං 737-200 යානය රාවල්පින්ඩි ගොඩබිමට ළඟා වීමේ දී අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට පත්වීමෙන් මගීන් 121 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය හය දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එමෙන්ම 2016 දී උතුරු පාකිස්තානයේ සිට ඉස්ලාමාබාද් බලා යමින් සිටියදී පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගිනිගෙන පුපුරා යාමෙන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top